ශ්‍රී ලංකාවේ උපන් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වන අයිවන් පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ‘ද වෙල්’ (The Well) නමැති සිතුවම ඇමරිකානු ඩොලර් 640,000ක වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවැති ක්‍රිස්ටීස් (Christie’s) වෙන්දේසියේදී මෙම සිතුවම අලෙවි වූ අතර, එය ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් වෙනුවෙන් වෙන්දේසියකදී ලැබුණු ඉහළම මිල ලෙසයි වාර්තා වෙන්නේ. 1957 වසරේදී තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇති මෙම සිතුවම සඳහා මූලිකව ඇස්තමේන්තු කර තිබුණේ ඇමරිකානු ඩොලර් 70,000ත් 100,000ත් අතර මුදලක් වුවත්, අවසානයේදී එය අපේක්ෂා කළ මුදල මෙන් කිහිප ගුණයකින් ඉහළ අගයකට අලෙවි වීම විශේෂත්වයක්.
මෙම සිතුවම අයිවන් පීරිස් මහතාගේ ඉතාමත් වැදගත් නිර්මාණයක් ලෙසයි කලාවේදීන් හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වෙරළබඩ පරිසරයක් සහ ගමේ ළිඳක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති මෙම සිතුවම, ඔහුගේ විශිෂ්ටතම නිර්මාණ හතෙන් එකක් ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම 1958 වසරේ පැවැති වැනීසිය බයිනාලේ (Venice Biennale) ප්‍රදර්ශනයේදීත් මෙම සිතුවම ප්‍රදර්ශනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් කළ ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වන අයිවන් පීරිස් මහතා 1921 වසරේ උපත ලබා 1988 වසරේදී අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ මෙම සිතුවම වෙන්දේසියේදී මෙතරම් ඉහළ මිලක් ලැබීම ශ්‍රී ලාංකික කලාකරුවෙකුට ලැබුණු ගෞරවයක් ලෙසයි බොහෝ දෙනා දකින්නේ.

Discussion & Feedback