ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී අයිවන් පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ‘ද වෙල්’ (The Well) නමැති සුප්‍රසිද්ධ සිතුවම නිව්යෝර්ක් නුවර පැවති ක්‍රිස්ටීස් වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 640,000ක වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා. මෙය ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් සඳහා වෙන්දේසියකදී ලැබුණු ඉහළම මිල ලෙසයි සැලකෙන්නේ. 1957 වසරේදී තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කළ මෙම සිතුවම සඳහා මීට පෙර ඇස්තමේන්තු කර තිබුණේ ඇමරිකානු ඩොලර් 70,000ත් 100,000ත් අතර මුදලක් වුවත්, අවසානයේදී එය අපේක්ෂා කළ මුදලට වඩා බොහෝ ඉහළ අගයකට අලෙවි වීම විශේෂත්වයක්.
මෙම සිතුවම අයිවන් පීරිස් මහතාගේ විශිෂ්ටතම නිර්මාණ අතරින් එකක් ලෙස සැලකෙන අතර, ඔහු නිර්මාණය කළ ස්මාරක පැනල් සිතුවම් හතෙන් වෙන්දේසියකට ඉදිරිපත් වූ එකම සිතුවම මෙයයි. 1958 වසරේදී වැනීසියේ පැවති බිනාලේ (Venice Biennale) ප්‍රදර්ශනයේදීත් ප්‍රදර්ශනය කෙරුණු මෙම සිතුවමෙන් නිරූපණය වන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වෙරළබඩ පරිසරයක් සහ ගමේ ළිඳක් වටා ගෙතුණු දර්ශනයක්. ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයට විශාල බලපෑමක් කළ ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ අයිවන් පීරිස් මහතා 1921 වසරේ උපත ලබා 1988 වසරේදී අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ මෙම සිතුවම ලෝක කලා වෙළඳපොළේ ශ්‍රී ලාංකික කලාවේ වටිනාකම තවත් වරක් ලොවට පෙන්වා දීමට සමත් වී තිබෙනවා.

Discussion & Feedback