ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත් සැකසීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ නවීන එකක් බවට පත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදා ගැනීමට රජය තීරණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ‘Better Tools for Better Lawmaking’ යන තේමාව යටතේ විශේෂ වැඩමුළුවක් පසුගියදා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech ශ්‍රී ලංකා ආයතනය එකතු වෙලා තමයි මේ වැඩසටහන සංවිධානය කළේ. ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ වැඩමුළුවේදී, නීති කෙටුම්පත් සැකසීමේදී AI තාක්ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳව මූලික සැලැස්මක් ඉදිරිපත් කළා.
මේ නව තාක්ෂණය මුලින්ම අත්හදා බැලීමට නියමිතව තියෙන්නේ අලුතින් හඳුන්වා දීමට යන ‘අතථ්‍ය වත්කම් සේවා සපයන්නන්ගේ පනත’ (Virtual Asset Service Providers Bill) කෙටුම්පත් කිරීම සඳහායි. මේ වැඩමුළුවේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නීතිමය ලේඛන සකස් කිරීමට සහ ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට AI මෙවලම් කොහොමද උදව් වෙන්නේ කියලා ප්‍රායෝගිකව පෙන්වා දුන්නා. ඒ වගේම මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී අවශ්‍ය වන දත්ත සූදානම සහ ආරක්ෂිත පියවරයන් ගැනත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
මේ අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඇතුළු රාජ්‍ය අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වුණා. ඉදිරියේදී මේ තාක්ෂණය නීති ක්ෂේත්රයට සම්පූර්ණයෙන්ම හඳුන්වා දීම හරහා නීති සැකසීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට හැකි වේවි කියලා තමයි බලධාරීන් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback