ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු සමාලෝචනය අද (14) ජිනීවා නුවරදී ආරම්භ වෙන්න නියමිතයි. එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ 35 වැනි සැසිවාරයට සමගාමීව මේ සාකච්ඡාව පැවැත්වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස සහ කමිටු සාමාජිකයන් අතර අන්තර් ක්‍රියාකාරී සංවාදයක් සිදුවන අතර, ඒ සඳහා අපේ රටේ නිලධාරීන් පිරිසක් ජිනීවා වෙත ගොස් සිටිනවා වගේම, තවත් පිරිසක් කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්න සූදානම් කර තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම දූත පිරිසට විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වෙනවා. 2016 වසරේදී ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් තැබූ අතර, 2019 වසරේදී තම මූලික වාර්තාව ඉදිරිපත් කළා. ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන් වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් සාකච්ඡා කිරීමටත්, මේ දක්වා ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් ලැබෙන හොඳම අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.
අගෝස්තු 12 වැනිදා ආරම්භ වුණු මෙම සැසිවාරය අගෝස්තු 27 වැනිදා දක්වා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට අමතරව ස්ලෝවැකියාව, කටාර්, ලිතුවේනියාව සහ චිලී යන රටවල වාර්තා ද මෙම කාලසීමාව තුළදී සමාලෝචනය කිරීමට නියමිතයි. ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් අපේ රටේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙලවල් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වන වැදගත් අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback