ශ්‍රී ලංකාවේ තඹිලි වගාව ප්‍රචලිත කර රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින්, රජය විසින් දිවයින පුරා අලුතින් තඹිලි ගම්මාන 250ක් ආරම්භ කිරීමට තීරණය කරලා තියෙනවා. මේ වැඩසටහන සැප්තැම්බර් දෙවැනිදාට යෙදෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ආරම්භ කරන අතර, එහි පළමු අදියර යටතේ මේ වසර තුළ ගම්මාන 75ක් ස්ථාපිත කිරීමට නියමිතයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයෙන් මේ වැඩසටහන ජාතික මට්ටමින් දියත් කරන අතර, ඉදිරි වසර කිහිපය තුළ ඉතිරි ගම්මානත් ස්ථාපිත කරලා මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
මේ වැඩසටහන යටතේ අලුතින් තඹිලි පැළ 212,500ක් වගා කිරීමටත්, දැනට පවතින තඹිලි ගස් 221,500ක් ප්‍රතිසංස්කරණය කිරීමටත් රජය කටයුතු කරනවා. විශේෂයෙන්ම ගොවීන්ට සහනයක් විදිහට එක පැළයක් සඳහා රුපියල් 600ක මුදලක් අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් දරන අතර, ගොවියාට වැය වෙන්නේ රුපියල් 150ක් වැනි සුළු මුදලක් විතරයි. ඒ වගේම පොහොර සහනාධාරයක් විදිහට ගසකට රුපියල් 700ක මුදලකුත් ලබා දෙනවා. මේ ව්‍යාපෘතිය හරහා රැකියා උත්පාදනය වගේම අපනයන ආදායම වැඩි කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වෙයි කියලා තමයි වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ.

Discussion & Feedback