ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍ර සඳහා දඩ ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ඔක්තෝබර් පළමුවැනිදා සිට මාස හයක කාලයක් සඳහා අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. මෙම වැඩසටහන 2027 මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, මේ කාලය තුළ රථවාහන වැරදි සිදුකරන රියදුරන්ට පොලිසිය විසින් එම වරදට හිමිවන ලකුණු ප්‍රමාණය පිළිබඳව දැනුවත් කිරීමක් පමණක් සිදු කරනවා. නමුත් මේ කාලය තුළ කිසිදු ලකුණක් රියදුරු බලපත්‍රයෙන් අඩු කරන්නේ නැහැ.
මෙය රියදුරන්ව මෙම නව ක්‍රමවේදයට හුරු කිරීම සඳහා සිදුකරන පූර්ව සූදානමක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත්, 2027 මාර්තු 31 වැනිදායින් පසුව යම් රියදුරෙක් රථවාහන වැරදි සිදු කළහොත් අනිවාර්යයෙන්ම ලකුණු අඩු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. යෝජිත ක්‍රමයට අනුව වසර දෙකක කාලයක් සඳහා රියදුරෙකුට යම් ලකුණු ප්‍රමාණයක් හිමිවන අතර, සිදුකරන වරදේ බරපතලකම අනුව එම ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. නිතර නිතර වැරදි සිදුකරන රියදුරන්ගේ ලකුණු ඉතා වේගයෙන් අවසන් වන අතර, ලකුණු සියල්ල අවසන් වූ පසු රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පවා සිදුවිය හැකියි. කෙසේ වෙතත්, ආරම්භක ලකුණු ප්‍රමාණය කොපමණද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

Discussion & Feedback