ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ විශේෂ සමුළුවකදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන නව දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානය යොමු වුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, විනිසුරු නීල් ඉද්දවෙල මහතා මෙම සමුළුවේදී ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාව මේ වන විට දූෂණය පිටුදැකීම වෙනුවෙන් ගෙන තිබෙන පියවරයන් ගැන පැහැදිලි කළා. විශේෂයෙන්ම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සහ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නවීන විද්‍යුත් ක්‍රමවේදය වැනි දේවල් හරහා රටේ විනිවිදභාවය ඉහළ නැංවීමට ගෙන ඇති පියවරයන් ගැන ඔහු කරුණු දැක්වූවා.
එමෙන්ම 2025-2029 කාලසීමාව සඳහා හඳුන්වා දී තිබෙන ‘අඛණ්ඩතාව උදෙසා’ නම් වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ පොලිසිය, මූල්‍ය අංශය වැනි ක්ෂේත්රවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට ගෙන ඇති පියවරයන් ගැනත් මෙහිදී අවධාරණය කෙරුණා. නීති සම්පාදනය කිරීම පමණක් නොව, එම ප්‍රතිසංස්කරණ හරහා මහජන විශ්වාසය දිනා ගැනීම සහ රාජ්‍ය සම්පත් ආරක්ෂා කර ගැනීම තම රටේ ප්‍රධාන අරමුණ බව විනිසුරු ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකාව අනුගමනය කරන මෙම විධිමත් වැඩපිළිවෙළ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලටත් හොඳ ආදර්ශයක් බවයි සමුළුවට සහභාගී වූ විදේශීය නියෝජිතයන් පෙන්වා දුන්නේ. දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව ගෙන යන මෙම වැඩපිළිවෙළ ජාත්‍යන්තර මට්ටමින් මෙලෙස ඇගයීමට ලක්වීම සුවිශේෂී කරුණක්.

Discussion & Feedback