මේ දිනවල විදෙස්ගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් සංවිධානය හෙවත් ඉන්ටර්පෝල් හරහා නිල් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ, ඉන්ටර්පෝල් ආයතනය විසින් එම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ ලේඛන කිහිපයක් ඉල්ලා ඇති බවයි. මේ වන විට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු පොලිසිය විසින් සිදු කරමින් පවතිනවා.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව දැනටමත් අධිකරණය මගින් වරෙන්තු දෙකක් නිකුත් කර තිබෙනවා. ඉන් එකක් වන්නේ මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවයි. අනෙක් වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ ඌව පළාත් සභා මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් යොදවා ටී-ෂර්ට් 12,000ක් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි. මෙම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා බලධාරීන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා.

Discussion & Feedback