ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම සහ නීතිමය සහයෝගීතාව ලබා දීම සම්බන්ධයෙන් වන ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් අවසන් කර ගැනීමට දෙරටේම අවධානය යොමු වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි එරට අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා සහ සෞදි අරාබියේ නීති සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මිෂාල් බින් අලි අල්-බලාවි මහතා අතර මෙම හමුව සිදුව තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර අධිකරණ සහ නීතිමය ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම ගැන දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තියෙනවා. විශේෂයෙන්ම සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම සහ අන්‍යෝන්‍ය නීතිමය සහයෝගීතාව පිළිබඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැන දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබෙනවා. මෙම ගිවිසුම් අත්සන් කිරීම හරහා දෙරට අතර පවතින නීතිමය සබඳතා වඩාත් විධිමත් කිරීමට හැකි වනු ඇති බවයි තානාපති කාර්යාලය පවසන්නේ.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සහ චාන්සරි ප්‍රධානී දමිත්‍රි සමංගික මහත්මිය සහ තානාපති කාර්යාල නිලධාරී සජීත් මහතා ද සහභාගී වුණා. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීමටත් මෙම සාකච්ඡාව ඉතා වැදගත් පියවරක් වනු ඇති බවයි රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.

Discussion & Feedback