මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,639ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 65ක් ලෙස සටහන් වෙනවා. විශේෂයෙන්ම ජූලි මාසයේදී රෝගීන් 29,973ක් සහ ජූනි මාසයේදී රෝගීන් 21,533ක් ලෙස විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම සැලකිය යුතු කරුණක්. අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් දැනටමත් රෝගීන් 4,292ක් වාර්තා වී තිබීමෙන් පෙනී යන්නේ තවමත් රෝග ව්‍යාප්තියේ අඩුවක් නොමැති බවයි.
දිස්ත්‍රික්ක මට්ටමින් බැලුවොත්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19,067ක්. කොළඹින් රෝගීන් 14,967ක් සහ මහනුවරින් 6,366ක් ලෙස වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාත තවමත් ඩෙංගු ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස පවතින අතර, රටේ සමස්ත රෝගීන්ගෙන් 52%කට වඩා වාර්තා වන්නේ එම පළාතෙනුයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 119ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි. දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 1,509ක් පමණ අලුතින් වාර්තා වන නිසා, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස බලධාරීන් මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

Discussion & Feedback