ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග ප්රතිඵලවලට බලපෑම් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 30,000කට අධික මුදලක් ලබාදීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු මන්ජෝත් කාල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ක්රීඩා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙම පිරිස සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු අනාවරණය වුණේ, භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ සහ අවිශ්ක ප්රනාන්දු වැනි ප්රබල ක්රීඩකයන් කිහිප දෙනෙකු වෙත මෙම සැකකරුවන් තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ වෙතත්, එම ක්රීඩකයන් වහාම ක්රියාත්මක වී ඒ පිළිබඳව ක්රීඩා දූෂණ විමර්ශන ඒකකයට දැනුම් දීම නිසා විමර්ශන නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ මෙම උගුල ඇටවීමට හැකි වුණා.
අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, රුපියල් මිලියන 11.5ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 9.5ක අත්තිකාරම් මුදලක් කළු පැහැති බෑගයක දමාගෙන කොළඹ ස්ථානයකට පැමිණි අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළ දුරකථන සංවාද සහ වීඩියෝ සාක්ෂි ද විමර්ශන ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සියලු චෝදනා ප්රතික්ෂේප කරමින් ඇප ඉල්ලා සිටියත්, විමර්ශනවලට බාධාවක් විය හැකි බව පවසමින් මහේස්ත්රාත්වරයා සැකකරුවන්ව ලබන ජූලි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

Discussion & Feedback