ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇළ මාර්ගයක් උඩ සූර්ය පැනල සවිකර විදුලිය නිපදවීමේ අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් මහියංගණයේ වියන ඇළ ආශ්‍රිතව ආරම්භ කරන්න රජය සැලසුම් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 5ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඇළ මාර්ගයේ කිලෝමීටර් පහක පමණ දුරක් ආවරණය වන පරිදි සූර්ය පැනල සවිකිරීමට නියමිතයි. වතු හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න සහ බලශක්ති ඇමති අනුර කරුණාතිලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
සාමාන්‍යයෙන් සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වුණත්, මේ ක්‍රමය නිසා ඉඩම් අහිමි වීමකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිපදවන්න පුළුවන් වෙනවා. වියන ඇළේ තියෙන පළල සහ වසර පුරා ලැබෙන හොඳ හිරු එළිය නිසා මේ ව්‍යාපෘතියට ඒ ස්ථානය ඉතාම සුදුසු බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. දැනටමත් ලෝකයේ දියුණු රටවල් කිහිපයකම මේ තාක්ෂණය සාර්ථකව භාවිතා කරනවා. මේ ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් සහ මූල්‍යමය කරුණු ගැන තවදුරටත් අධ්‍යයනය කරන අතර, මේ අත්හදා බැලීම සාර්ථක වුණොත් ඉදිරියේදී රටේ තවත් ඇළ මාර්ග රැසක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය, මහවැලි අධිකාරිය, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රැසක නියෝජිතයන් සහභාගි වුණා. ඇළ මාර්ග උඩ සූර්ය පැනල සවිකිරීමෙන් ජලය වාෂ්ප වීම අවම කරගන්නත්, ඒ හරහා ජල සම්පත ආරක්ෂා කරගන්නත් පුළුවන් වීම තවත් විශේෂත්වයක්. මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ නව පෙරළියක් වේවි කියලා තමයි බලධාරීන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback