දේශගුණික විපර්යාස නිසා ඇතිවෙන අහිතකර කාලගුණික තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව ඉතාමත් නරකම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. පාර්ලිමේන්තු දේශගුණික කමිටුවේදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ කාලගුණ අනාවැකිවල පවතින අවිනිශ්චිතභාවය මත පදනම් නොවී, ඕනෑම දරුණු තත්ත්වයකට මුහුණ දීමට රටක් විදිහට අප සූදානම් විය යුතු බවයි. විශේෂයෙන්ම එල් නිනෝ, ලා නිනා සහ ඉන්දියන් සාගර ද්විධ්‍රැවය වැනි සංසිද්ධීන් නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට, විදුලි උත්පාදනයට සහ ජල සම්පත්වලට සිදුවිය හැකි බලපෑම් ගැන ඉතාම අවධානයෙන් සිටිය යුතු බව ඔහු පවසනවා.
පවතින ආපදා කළමනාකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කළ යුතු බවත්, ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තය අනුගමනය කරන සාර්ථක ආපදා කළමනාකරණ ක්‍රමවේදයන් අපේ රටටත් උචිත දැයි අධ්‍යයනය කළ යුතු බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළා. නියඟය, ගංවතුර සහ නායයෑම් වැනි ආපදාවලින් ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට නම් රජය, සිවිල් සංවිධාන සහ අනෙකුත් පාර්ශ්ව එකතු වී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. ඉදිරි කාලයේදී එල් නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙන නිසා, මේ පිළිබඳව වහාම අවධානය යොමු කර ජාතික මට්ටමේ සූදානමක් ඇති කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

Discussion & Feedback