ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය වෙනුවෙන් රජය විසින් අලුතෙන්ම හඳුන්වා දුන් ‘ලයිෆ් සිටීස්’ (Life Cities) වැඩසටහනේ පළමු අදියර පසුගියදා බත්තරමුල්ලේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්සවාකාරයෙන් ආරම්භ වුණා. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ රටේ නගර දහයක් සැලසුම් සහගතව සහ දත්ත මත පදනම්ව සංවර්ධනය කිරීමයි. මෙහිදී 2026 වසරේ සංවර්ධනය කිරීමට නියමිත යාපනය, මාතර, මඩකලපුව, බදුල්ල, මාතලේ, තඹුත්තේගම, වවුනියාව, හැටන්, හලාවත සහ ඇහැලියගොඩ යන නගර සඳහා අදාළ ව්‍යාපෘති සැලසුම් පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙත නිල වශයෙන් භාර දීමත් සිදු වුණා.
මෙම වැඩසටහන හරහා නාගරික සංවර්ධනයේදී මීට පෙර පැවති දුර්වල සැලසුම්කරණය සහ ආයතන අතර සම්බන්ධීකරණ ගැටලු මගහරවා ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම, ආර්ථික අවස්ථා පුළුල් කිරීම සහ සංචාරක ක්ෂේත්රය නංවාලීම මගින් මෙම නගර වඩාත් කාර්යක්ෂම සහ ආයෝජක හිතකාමී මධ්‍යස්ථාන බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. 2026 වසරේ පළමු අදියරෙන් පසුව, 2027 වසරේදී තවත් නගර 16ක් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී රටේ නාගරික පෙනුම සහ පහසුකම්වල විශාල වෙනසක් දකින්න ලැබෙනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback