ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ජපානය සමඟ නව සහයෝගීතා වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහේ හාරා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ගැටලු විසඳා ගැනීම පිළිබඳව අවධානය යොමු වුණා. විශේෂයෙන්ම, විදේශීය ආනයන මත යැපීම අවම කරමින් මෙරට තුළම සෙට්-ටොප් බොක්ස් (set-top boxes) නිෂ්පාදනය කිරීමේ හැකියාව ගැනත් දෙපාර්ශ්වයම සාකච්ඡා කළා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ජාතික කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථානයක් (National AI Data Centre) පිහිටුවීමටත් මෙහිදී සැලසුම් කර තිබෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය කෘත්‍රිම බුද්ධි විසඳුම් දේශීයව නිර්මාණය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සහ ජාත්‍යන්තර තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ජපානය ලබාදෙන මේ සහයෝගය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතයට විශාල ශක්තියක් වන බවත්, දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් මෙම ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට ගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback