කොළඹ වරාය නගරයේදී සිදුවූ චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. පසුගිය ජූලි 23 වැනිදා වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහර දී ඉන් අයෙකුව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ. මේ වන විටත් මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.
පොලිසිය විසින් හඳුනාගෙන ඇති සැකකරුවන් තිදෙනා වන්නේ චෙන් හොංබින්ග් (Chen Hongbing), ලූ ගාඕ (Lu Gao) සහ සියැං හුවාචෙන්ග් (Xiang Huacheng) යන අයයි. මොවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර, මේ වන විට ඔවුන්ගේ වීසා බලපත්රවල කාලය අවසන් වී තිබුණත් ඔවුන් තවමත් රට තුළ සැඟවී සිටින බවටයි සැක කෙරෙන්නේ. මොවුන් ගුවන් මාර්ගයෙන් හෝ මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස රටින් පලා යාමට උත්සාහ කළ හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම සැකකරුවන් පිළිබඳව කිසියම් තොරතුරක් දන්නේ නම්, වහාම කොළඹ දිස්ත්රික් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත 071-8591735 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය වැඩිදුරටත් කියා සිටිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්රික් අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

Discussion & Feedback