ශ්‍රී ලංකාවේ සමාගම් සහ විවිධ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ පසුගිය ජූලි 06 වැනිදායි. 2022 වසරෙන් පසුව සිදුකළ මෙම නවතම සංශෝධනයත් සමඟ සමාගම් ලියාපදිංචියට අදාළ ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 4,600 සිට 5,200 දක්වාත්, මහජන සමාගමක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 23,000 සිට 26,400 දක්වාත් වැඩි කර තිබෙනවා. මීට අමතරව, සමාගමක නමක් අනුමත කරවා ගැනීම සඳහා වන ගාස්තුව රුපියල් 2,600ක් ලෙසත්, වාර්ෂික වාර්තා ගොනු කිරීමේ ගාස්තුව රුපියල් 7,900ක් ලෙසත් තීරණය කර තිබෙනවා. සමාගම් ලේකම්වරුන්, විගණකවරුන් සහ විදේශීය සමාගම්වලට අදාළ ගාස්තු ද මෙම නව සංශෝධනයට ඇතුළත්.
සමාගම්වලට අමතරව සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ද ඉහළ ගොස් තිබෙනවා. සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා මීට පෙර රුපියල් 3,450ක් අය කළ අතර, එය දැන් රුපියල් 3,900ක් දක්වා වැඩි කර තිබෙනවා. සමිතියක ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, වාර්ෂික වාර්තා ගොනු කිරීම සහ සහතික කළ පිටපත් ලබා ගැනීම වැනි සේවාවන් සඳහා ද නව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව ගාස්තු ව්‍යුහය ජූලි 06 වැනිදා නිකුත් කළ අංක 2496/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා බලාත්මක වන බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback