මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,947ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කරපු අලුත්ම දත්තවලට අනුව, මේ වසරේ මේ වන විට ඩෙංගු රෝගය නිසා පුද්ගලයින් 62 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජූලි මාසයේදී රෝගීන් 29,975ක් වාර්තා වීමත් එක්ක රෝග ව්‍යාප්තියේ විශාල වැඩිවීමක් දකින්න ලැබුණා. අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළත් දැනටමත් රෝගීන් 1,598ක් වාර්තා වෙලා තියෙන නිසා තත්ත්වය තවමත් බරපතළයි.
රෝග ව්‍යාප්තියේ වැඩිම බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ බස්නාහිර පළාතටයි. සමස්ත රෝගීන්ගෙන් 52.9%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිරින්. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් පමණක් රෝගීන් 35,000කට වඩා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මහනුවර, මාතර සහ කළුතර දිස්ත්‍රික්කත් මේ වන විට ඉහළ අවදානම් කලාප බවට පත්වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් එක්ක මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් ඉහළ ගිහින් තියෙන බවයි.
දැනට සෞඛ්‍ය අංශ විසින් අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 137ක් හඳුනාගෙන තියෙනවා. දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වීම සැලකිල්ලට ගෙන, තමන්ගේ නිවෙස් සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල ජීවත් වන අය මේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්.

Discussion & Feedback