මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව මේ වන විට මරණ 61ක් සිදුව ඇති බවයි තහවුරු වෙන්නේ. විශේෂයෙන්ම ජූලි මාසයේදී පමණක් රෝගීන් 26,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබීම බරපතළ තත්ත්වයක්. මේ වසරේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ මාසය ලෙසත් ජූලි මාසය හඳුනාගෙන තියෙනවා.
වඩාත්ම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ ලෙස බස්නාහිර පළාත පෙරමුණේ පසුවන අතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් වාර්තා වෙනවා. මීට අමතරව දකුණු සහ මධ්‍යම පළාත්වලත්, මාතර, මහනුවර, කළුතර සහ රත්නපුර වැනි දිස්ත්‍රික්කවලත් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතිනවා. සෞඛ්‍ය අංශ විසින් මේ වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 175ක් හඳුනාගෙන තිබෙන අතර, දිනකට වාර්තා වන රෝගීන්ගේ සාමාන්‍ය අගය 2,300 ඉක්මවා ගොස් තිබීම කනස්සල්ලට කරුණක්.
මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි. විශේෂයෙන්ම තම නිවෙස් අවට මදුරුවන් බෝ විය හැකි ස්ථාන නිතරම පිරිසිදු කර තබා ගැනීම සහ මදුරු කීටයන් විනාශ කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍යයි. ඩෙංගු රෝගය රට පුරා පැතිර යන නිසා උණ හෝ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත්, අනවශ්‍ය ලෙස බිය නොවී නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමටත් කටයුතු කරන්න.

Discussion & Feedback