ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසහාය ගායන ශිල්පිනියක වූ විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ශ්රී ලංකා රජය විසින් දින තුනක ජාතික ශෝක කාලයක් ප්රකාශයට පත් කර තිබෙනවා. අගෝස්තු 21, 22 සහ 23 යන දිනවලදී මෙම ජාතික ශෝක කාලය ක්රියාත්මක වන අතර, ඇය විසින් මෙරට සංගීතයට සහ සංස්කෘතියට ලබා දුන් අමිල මෙහෙවර අගය කිරීමක් ලෙස මෙය සිදු කෙරෙනවා. වයස අවුරුදු 82ක්ව තිබියදී ඇය පසුගිය බ්රහස්පතින්දා නාවල පිහිටි ඇයගේ නිවසේදී අභාවප්රාප්ත වුණා.
ඇයගේ දේහය පිළිබඳ අවසන් ගෞරව දැක්වීම සඳහා සිකුරාදා උදෑසන 10 සිට සෙනසුරාදා පස්වරු 3.30 දක්වා නුගේගොඩ පිහිටි නන්දා මාලිනී සංගීත ආශ්රමයේ තැන්පත් කර තැබෙනවා. ඒ අනුව රසික රසිකාවියන්ට ඇයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලැබෙන අතර, ඇයගේ අවසන් කටයුතු සෙනසුරාදා දිනයේදී සිදු කිරීමට නියමිතයි. 1943 වසරේ අගෝස්තු 23 වැනිදා උපත ලැබූ නන්දා මාලිනී මහත්මිය දශක ගණනාවක් පුරා ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අතිශය ජනප්රිය සහ බලපෑම් සහගත චරිතයක් ලෙස කටයුතු කළා.
ඇයගේ දීර්ඝ කලා දිවිය තුළ සරසවි සම්මාන 11ක් සහ ජනාධිපති සම්මාන 8ක් ඇතුළු අතිවිශාල සම්මාන ප්රමාණයක් දිනා ගැනීමට ඇය සමත් වුණා. මෙරට සංගීත ඉතිහාසයේ සදා අමරණීය නාමයක් සනිටුහන් කළ ඇයගේ වියෝව සමස්ත රටටම විශාල පාඩුවක් වන අතර, ඇය ගැයූ ගීත ඉදිරියටත් රසික හදවත් තුළ නොමැකී පවතිනු නොඅනුමානයි.

Discussion & Feedback