ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මැයි මාසයේදී පොලී අනුපාත හදිසියේම සියයට එකකින් ඉහළ දැමුවත්, මේ වසරේ ඉතිරි කාලය තුළ තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. දැනට පවතින උද්ධමන තත්ත්වය මහ බැංකුවේ අපේක්ෂාවන්ට අනුකූලව පවතින බවත්, ඉදිරියේදී උද්ධමනය ක්‍රමයෙන් පහළ ගොස් 2027 වන විට සියයට 5ක ඉලක්කය කරා ළඟා වනු ඇති බවත් ඔහු සඳහන් කරනවා. ගෝලීය වශයෙන් පවතින අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආර්ථික වර්ධනය සියයට 4ත් 5ත් අතර මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇති බවයි මහ බැංකුව විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත්, ඉරාන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි රටවලට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ජූලි මාසයේදී උද්ධමනය සියයට 7.3ක් දක්වා ඉහළ ගිය අතර, එය නොවැම්බර් වන විට සියයට 8ක් දක්වා ඉහළ යා හැකි බවට ඇතැම් විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. මේ නිසාම මහ බැංකුව අවධානයෙන් පසුවන අතර, මැයි මාසයේ ගත් තීරණවල සම්පූර්ණ ප්‍රතිඵල ආර්ථිකයට දැනෙන්නට තවත් මාස 12ත් 18ත් අතර කාලයක් ගතවනු ඇති බවයි අධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර, රටේ විදේශ විනිමය සංචිතය වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ නංවා ගැනීමට මහ බැංකුව බලාපොරොත්තු වෙනවා. දැනට පවතින ඩොලර් බිලියන 6.6ක සංචිතය තවදුරටත් ශක්තිමත් කර ගැනීම ආර්ථික ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ. අඩු උද්ධමනයක් පවත්වා ගැනීම රටේ අනාගත ආර්ථික වර්ධනයට අනිවාර්ය කොන්දේසියක් බවත්, ඒ සඳහා මහ බැංකුව සිය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback