දැන් Spotify වේදිකාවේ සංගීතයට ලැදි අයට තමන් අහන ගායකයා හෝ ගායිකාව සැබෑ මනුෂ්යයෙක්ද නැත්නම් AI තාක්ෂණයෙන් නිර්මාණය කළ කෘතිම චරිතයක්ද කියලා පහසුවෙන් දැනගන්න පුළුවන් වෙනවා. මේ සඳහා Spotify ආයතනය විසින් ‘AI Persona’ නමින් විශේෂ ලේබලයක් හඳුන්වා දීමට පියවර අරන් තියෙනවා. සැප්තැම්බර් මාසයේ සිට ක්රියාත්මක වන මේ පහසුකම හරහා, කලාකරුවාගේ පැතිකඩ (Profile) මතම මේ ලේබලය දකින්න ලැබෙනවා. සැබෑ කලාකරුවන් සහ රසිකයන් අතර තියෙන විශ්වාසය තහවුරු කිරීම සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම තමයි මේ පියවරේ ප්රධාන අරමුණ වෙන්නේ.
මේ ලේබලය යොදන්නේ කලාකරුවා විසින්ම තමන් AI කෙනෙක් බව පිළිගත්තොත් හෝ Spotify ආයතනය විසින් සිදුකරන පරීක්ෂාවකින් පසුවයි. විශේෂත්වය තමයි, Spotify ආයතනය විසින් යොදන ඕනෑම ලේබලයක් මිනිසුන් විසින්ම පරීක්ෂා කර තහවුරු කිරීමෙන් පසුවයි ප්රසිද්ධ කරන්නේ. ඒ වගේම, මේ AI කලාකරුවන්ගේ නිර්මාණ Spotify හි නිර්දේශිත ගීත ලැයිස්තු (Editorial recommendations) වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඉදිරියේදී රසිකයන්ටත් සැක සහිත පැතිකඩ වාර්තා කිරීමට අවස්ථාව ලැබෙනවා.
කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන සංගීතය නිසා සැබෑ කලාකරුවන්ගේ ආදායමට බලපෑම් එල්ල වීම ලොව පුරාම ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ඒ නිසාම Spotify ආයතනය පසුගිය කාලයේදීත් ස්පෑම් ගීත මිලියන ගණනක් ඉවත් කිරීමට කටයුතු කළා. කලාකරුවන් තමන්ගේ නිර්මාණ සඳහා AI භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන විවෘතව කතා කරනවා වගේම, මේ ‘AI Persona’ ලේබලය හරහාත් කලාකරුවන් අවංක වේවි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback