සෝනි පික්චර්ස් සහ මාර්වල් ස්ටූඩියෝස් එකතුවෙන් එන අලුත්ම ස්පයිඩර් මෑන් චිත්‍රපටය වන ‘ස්පයිඩර් මෑන්: බ්‍රෑන්ඩ් නිව් ඩේ’ මේ දිනවල සිනමා ලෝකයම උණුසුම් කරමින් ඉන්නවා. මේ චිත්‍රපටයේ දෙවන ට්‍රේලරය නිකුත් වෙලා සතියක් ඇතුළත මිලියන 590කට අධික නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගෙන ඉතිහාසයේ දෙවන විශාලතම ට්‍රේලර් දියත් කිරීම ලෙස වාර්තා පොත් අතරට එක් වුණා. මීට කලින් මේ චිත්‍රපටයේ පළමු ට්‍රේලරය දින හතරක් ඇතුළත බිලියනයක නැරඹුම් වාර ඉක්මවා යමින් ලෝක වාර්තාවක් තැබීමටත් සමත් වුණා. ටොම් හොලන්ඩ් සහ සෙන්ඩයා ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටය ජූලි 31 වනදා ලොව පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.
මෙම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ පීටර් පාකර්ව ලෝකයම අමතක කර දමා ඇති පසුබිමක ඔහු තනිවම අපරාධකරුවන්ට එරෙහිව සටන් කරන ආකාරය වටායි. තමන්ගේ පැරණි මිතුරන් තමන්ව අමතක කර ඉදිරියට යන විට පීටර් මුහුණ දෙන මානසික පීඩනය සහ ඔහු තුළ සිදුවන වෙනස්කම් මෙහිදී අපූරුවට දැකගන්න පුළුවන්. මේ අතරතුර නගරයට එල්ල වන අදෘශ්‍යමාන බලවත් සතුරෙකු පරාජය කිරීමට පීටර්ට සිදුවෙනවා. ඩෙස්ටින් ඩැනියෙල් ක්‍රෙටන් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයට සේඩි සින්ක්, ජේකබ් බැටලෝන් සහ මාර්ක් රෆලෝ වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. 2021 වසරේ ‘නෝ වේ හොම්’ චිත්‍රපටයෙන් පසුව වැඩිම අත්තිකාරම් ටිකට්පත් අලෙවියක් වාර්තා කරමින් මේ චිත්‍රපටය මේ වන විටත් ප්‍රේක්ෂකයන් අතර විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback