ලොව පුරාම ඉමහත් ජනප්රියත්වයක් දිනාගෙන ඉන්න ‘Spider-Man: Beyond The Spider-Verse’ ඇනිමේෂන් චිත්රපටයේ තවමත් නිම නොකළ දර්ශන පෙළක් අන්තර්ජාලයට කාන්දු වීම මේ දිනවල ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. 2027 ජුනි 18 වෙනිදා තිරගත වෙන්න නියමිත මේ චිත්රපටයේ ට්රේලර් එකක් විදිහට හඳුන්වන දර්ශන කිහිපයක් සමාජ මාධ්ය ඔස්සේ පැතිරෙන්න පටන් ගත්තා. මේ සිදුවීම සම්බන්ධයෙන් චිත්රපටයේ සම-රචක ක්රිස් මිලර් තමන්ගේ දැඩි අප්රසාදය පළ කරලා තියෙනවා. ඔහු කියන විදිහට, තාම හරියට වැඩ නිම නොකළ, ග්රැෆික්ස් පවා සම්පූර්ණ කරලා නැති දර්ශන මේ විදිහට ප්රසිද්ධ වෙන එක ඔහු කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
මේ වගේ සිදුවීමක් මීට කලිනුත් වාර්තා වුණා. පාරමවුන්ට් ආයතනය විසින් නිෂ්පාදනය කරපු ‘The Legend of Aang: The Last Airbender’ චිත්රපටයේ සම්පූර්ණ පිටපතක් කලින් අන්තර්ජාලයට කාන්දු වුණා. ඒ වෙලාවේ ඒ චිත්රපටයේ වැඩ කරපු ශිල්පීන් තමන්ගේ මහන්සිය ගැන ලොකු කණගාටුවක් පළ කරලා තිබුණා. ඒ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා සිංගප්පූරුවේ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නත් පාරමවුන්ට් ආයතනය පියවර ගත්තා. කොහොම වුණත්, මේ වගේ නිර්මාණයක් තිරගත වෙන්න කලින් මේ විදිහට කාන්දු වීම චිත්රපට කර්මාන්තයට ලොකු බලපෑමක් කරනවා. දැනට නම් සෝනි පික්චර්ස් හෝ මාර්වල් ආයතන මේ ගැන නිල වශයෙන් කිසිම දෙයක් කියලා නැහැ.

Discussion & Feedback