මේ දිනවල ශ්‍රී ලංකාව තුළ HIV ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සත්‍යා හේරත් මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය පෙන්වා දුන්නේ විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වන බවයි. ප්‍රධාන වශයෙන්ම අනාරක්ෂිත ලිංගික සබඳතා සහ මත්ද්‍රව්‍ය භාවිතයේදී ඉඳිකටු සහ සිරින්ජර් හුවමාරු කර ගැනීම මෙම රෝගය පැතිරීමට ප්‍රධාන හේතු වී තිබෙනවා. පිරිමි පාර්ශවය අතර මෙම රෝගය බහුලව දක්නට ලැබෙන බවත්, 2023 වසරේ සිට ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
HIV රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි නිසා, ආසාදනය වූ අය ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලබා ගත යුතු බව වෛද්‍යවරිය අවධාරණය කරනවා. විශේෂයෙන්ම තරුණ වයසේදී මෙම රෝගයට ගොදුරු වන අයට දිගුකාලීන වෛද්‍ය අධීක්ෂණය සහ ප්‍රතිකාර අත්‍යවශ්‍යයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සායන හරහා රෝගීන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරමින් නොමිලේ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙනවා. එබැවින්, සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් හෝ අවදානම් සහගත හැසිරීම්වල නිරත වී ඇත්නම්, බිය නොවී මෙම සේවාවන් ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback