කොළඹ, ගම්පහ, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ලක්ෂ අසූවකට අධික ජනතාවකට පානීය ජලය සපයන ප්‍රධානතම මූලාශ්‍රය වන කැලණි ගඟ ආරක්ෂා කර ගැනීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. දැනට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් නුවරඑළියේ සිට අඹතලේ දක්වා ස්ථාන විසිහතකින් ජලය ලබාගෙන පවුල් ලක්ෂ විස්සකට පමණ පානීය ජලය බෙදාහරිනවා. කෙසේ වෙතත්, කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව පවතින කර්මාන්තශාලා හයදහසක් පමණ සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගඟේ ජලයේ ගුණාත්මකභාවය බරපතළ ලෙස පහළ යමින් පවතින බව බලධාරීන් පෙන්වා දෙනවා. ඉදිරි වසර පහ තුළ මෙම තත්ත්වය පාලනය කර ගැනීමට කඩිනම් පියවර නොගතහොත් ජල මූලාශ්‍රයට සහ පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවිය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, කර්මාන්ත අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය බලධාරීන් එකතු වී කටයුතු කරනවා. පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී කර්මාන්ත සහ නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, නීතිය දැඩි කිරීම සහ දිගුකාලීන නිරීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණා. කැලණි ගඟේ පිරිසිදු බව රැකගැනීම සඳහා සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගය සහ වගකීම මෙහිදී ඉතා වැදගත් වන බවයි බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback