දකුණු අප්රිකාවේ සංක්රමණිකයන්ට එරෙහිව උද්ඝෝෂණ පවත්වන ‘මාර්ච් ඇන්ඩ් මාර්ච්’ සංවිධානයේ ප්රාදේශීය නායකයෙකු වන ඇන්ඩිලේ ම්වුයෙල්වා සොම්ග්සාඩා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ජොහැන්නස්බර්ග් නුවර පිහිටි ඔහුගේ නිවස අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, පසුව ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා. තම සංවිධානය නීති විරෝධී සංක්රමණිකයන්ට රටින් පිටව යන ලෙස බල කරමින් සිදුකරන උද්ඝෝෂණ හේතුවෙන් මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකළ එකක් බව එම සංවිධානයේ ප්රකාශකයින් පවසනවා. මේ වන විට එම සංවිධානයේ අනෙකුත් නායකයින්ටත් මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු අප්රිකාවේ පවතින සංක්රමණික ගැටලුව මේ වන විට ඉතා උණුසුම් තත්ත්වයකට පත්ව තිබෙනවා. නීති විරෝධී සංක්රමණිකයන් නිසා රටේ රැකියා සහ පොදු සේවාවන්ට බලපෑම් එල්ල වන බව පවසමින් විරෝධතාකරුවන් ඔවුන්ට ජුනි 30 වන දින දක්වා රටින් පිටවීමට අවසාන කාලසීමාවක් ලබා දී තිබුණා. මේ අතර, විදේශිකයන්ට එරෙහිව ප්රචණ්ඩත්වය සහ බිය ගැන්වීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස් ප්රධානී ලුතිනන් ජෙනරාල් පුලෙන්ග් ඩිම්පේන් අනතුරු අඟවා තිබෙනවා. නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත්, සියලුම විමර්ශන ඉතා පක්ෂපාතීව සහ විනිවිදභාවයකින් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback