ඇමරිකාවේ ස්පේස් එක්ස් (SpaceX) සමාගම තමන්ගේ අභ්යවකාශ ගමන් වාරවල තවත් සුවිශේෂී දවසක් සනිටුහන් කරමින්, පැය 12ක් වැනි කෙටි කාලයක් ඇතුළත දෙවැනි වරටත් අභ්යවකාශ මෙහෙයුමක් සාර්ථකව අවසන් කරන්න සමත් වුණා. මේ වතාවේ කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ බලකා කඳවුරේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක් මගින් ස්ටාර්ලින්ක් අන්තර්ජාල චන්ද්රිකා 24ක් පෘථිවි පහළ කක්ෂයට යැවීමට ඔවුන් කටයුතු කළා. මේ මෙහෙයුම හරහා දැනටමත් අභ්යවකාශයේ තිබෙන ස්ටාර්ලින්ක් චන්ද්රිකා ජාලය තවත් ශක්තිමත් වුණා.
මෙම රොකට්ටුව අභ්යවකාශයට ගොස් මිනිත්තු 8.5කට පසුව, එහි පළමු අදියරේ බූස්ටරය සාර්ථකව පැසිෆික් සාගරයේ තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් යාත්රාවක් මත ගොඩබෑමට හැකි වුණා. විශේෂත්වය වන්නේ මෙය එම බූස්ටරය භාවිතා කළ පස්වැනි වතාව වීමයි. මේ වන විට ස්පේස් එක්ස් සමාගම විසින් අභ්යවකාශයට යවා ඇති මුළු චන්ද්රිකා සංඛ්යාව 10,900 ඉක්මවා ගොස් තිබෙනවා. ඉදිරියේදී තවත් විශාල චන්ද්රිකා ප්රමාණයක් අභ්යවකාශගත කිරීමට එලොන් මස්ක්ගේ සමාගම සැලසුම් කරමින් සිටින අතර, ඒ හරහා ලොව පුරා අන්තර්ජාල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ වසරේ පමණක් ස්පේස් එක්ස් සමාගම ෆැල්කන් 9 රොකට් 94ක් අභ්යවකාශගත කර ඇති අතර, ඉන් 73ක්ම ස්ටාර්ලින්ක් චන්ද්රිකා යැවීම සඳහා යොදාගෙන තිබෙනවා. අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ මෙවැනි වේගවත් සහ සාර්ථක මෙහෙයුම් දකින්න ලැබීම ඇත්තටම පුදුම හිතෙන කාරණයක්. ඉදිරියේදී තවත් නවීන තාක්ෂණයෙන් යුතු චන්ද්රිකා අභ්යවකාශයට යැවීමට ඔවුන් සූදානම් වන නිසා, අනාගතයේදී අන්තර්ජාල සේවා ක්ෂේත්රයේ විශාල පෙරළියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback