ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම සහ බලවත්ම රොකට්ටුව වන ස්පේස්එක්ස් (SpaceX) ආයතනයේ ‘ස්ටාර්ෂිප්’ (Starship) රොකට්ටුව සිය 13 වැනි අත්හදා බැලීමේ ගමන සඳහා සූදානම් වෙනවා. ඇපලෝ 11 සඳ මත ගොඩබැසීමේ 57 වැනි සංවත්සරයට සමගාමීව, ජූලි 20 වැනිදා දකුණු ටෙක්සාස්හි පිහිටි ස්පේස්බේස් මධ්යස්ථානයෙන් මෙය අභ්යවකාශයට මුදා හැරීමට නියමිතයි. මීට පෙර ජූලි 16 වැනිදා දියත් කිරීමට උත්සාහ කළත්, අවසන් මොහොතේ එය අත්හිටුවීමට සිදුවුණා. මෙම ඓතිහාසික අවස්ථාව ලොව පුරා සිටින අභ්යවකාශ ලෝලීන්ට සජීවීව නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
මෙම ස්ටාර්ෂිප් රොකට්ටුව කොටස් දෙකකින් සමන්විත වන අතර, එය සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. අඩි 400කට වඩා උසැති මෙම රොකට්ටුවට ටොන් 110කට වැඩි බරක් පෘථිවි කක්ෂයට රැගෙන යාමේ හැකියාව තියෙනවා. පසුගිය මැයි මාසයේ සිදුකළ 12 වැනි ගුවන් ගමනේදී සුළු තාක්ෂණික දෝෂ කිහිපයක් වාර්තා වුණත්, මෙවර එම දෝෂ සියල්ල නිවැරදි කරමින් සාර්ථක ගමනක් යාමට ස්පේස්එක්ස් ඉංජිනේරුවන් බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී සඳ සහ අඟහරු ග්රහයා වෙත මිනිසුන් රැගෙන යාමේ ප්රධානතම මෙවලම බවට ස්ටාර්ෂිප් පත්වනු ඇති බවයි විද්යාඥයන් පවසන්නේ.
මෙවර ගුවන් ගමනේදී ප්රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ රොකට්ටුවේ පළමු අදියර වන ‘සුපර් හෙවි’ (Super Heavy) බූස්ටරය සාර්ථකව පාලනය කරමින් මෙක්සිකෝ බොක්කේ (ඇමරිකානු බොක්ක) ජලයට ගොඩබැස්වීමටයි. අනාගතයේදී මෙම රොකට්ටුව දියත් කරන වේදිකාවටම නැවත ගොඩබැස්වීමේ තාක්ෂණය දියුණු කිරීම ස්පේස්එක්ස් ආයතනයේ මීළඟ ඉලක්කය වෙනවා. මෙම පරීක්ෂණය අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback