ලෝක ප්‍රකට ස්පේස් එක්ස් (SpaceX) සමාගම තමන්ගේ දැවැන්ත ‘ස්ටාර්ෂිප්’ රොකට් අභ්‍යවකාශගත කිරීම සඳහා ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ දෙවන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය කරලා තියෙනවා. වසර හතක කාලයක් තිස්සේ සුදුසු ස්ථානයක් සොයමින් සිටි ඔවුන්, අවසානයේදී හිටපු එක්සන් (Exxon) සමාගමට අයත් භූමියක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 100ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිත අතර, 2027 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර 2029 හෝ 2030 වන විට පළමු දියත් කිරීම සිදු කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
මෙම නව මධ්‍යස්ථානය හරහා ඉදිරි දශකය තුළ රැකියා අවස්ථා 3,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරනවා. ස්පේස් එක්ස් සමාගම පවසන්නේ මෙය හුදෙක් දියත් කිරීමේ මධ්‍යස්ථානයක් පමණක් නොව, ඉන්ධන නිෂ්පාදනය, විදුලි උත්පාදනය සහ ගුවන් තොටුපළක් පවා ඇතුළත් ස්වයංපෝෂිත අභ්‍යවකාශ නගරයක් ලෙස ගොඩනඟන බවයි. දැනට පවතින ෆැල්කන් රොකට් වෙනුවට ස්ටාර්ෂිප් රොකට් භාවිතය ප්‍රධාන කිරීමට එලොන් මස්ක් සැලසුම් කර තිබෙන නිසා, මෙම නව මධ්‍යස්ථානය සමාගමේ අනාගත ගමන් මඟට ඉතාමත් තීරණාත්මක වනු ඇති.
කෙසේ වෙතත්, ස්ටාර්ෂිප් රොකට් තාක්ෂණය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර, එය සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි රොකට්ටුවක් බවට පත් කිරීමේ අභියෝගය ඔවුන් ඉදිරියේ තවමත් තිබෙනවා. ටෙක්සාස්හි පිහිටි ඔවුන්ගේ පළමු මධ්‍යස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු නිසා, ලුසියානාහි නව මධ්‍යස්ථානය ඉදිකිරීමේදී ආරක්ෂක පියවරයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback