අනාගතයේදී අභ්‍යවකාශය තුළ කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන මිලියනයක් ස්ථාපිත කිරීමට SpaceX වැනි දැවැන්ත සමාගම් සැලසුම් කරමින් ඉන්නවා. මේ දත්ත මධ්‍යස්ථාන අභ්‍යවකාශයට යැවීමෙන් පෘථිවියේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් විද්‍යාඥයන් මේ ගැන බරපතල කනස්සල්ලකින් ඉන්නේ. මේ තරම් විශාල චන්ද්‍රිකා ප්‍රමාණයක් අභ්‍යවකාශයට යැවීම සහ ඒවා නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී සිදුවන දහනය නිසා වායුගෝලයේ ඉහළ ස්ථරවලට විශාල හානියක් සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම රොකට් දහනයෙන් පිටවන කළු කාබන් සහ චන්ද්‍රිකා දහනයෙන් වායුගෝලයට එකතු වන ඇලුමිනියම් ඔක්සයිඩ් වැනි ද්‍රව්‍ය ඕසෝන් ස්ථරයට දැඩි බලපෑමක් ඇති කරනවා. සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේදී සිදුවන දූෂණය වැසි සහ සුළං මගින් ඉක්මනින් ඉවත් වුණත්, වායුගෝලයේ ඉහළ ස්ථරවලට එකතු වන මේ දූෂක දශක ගණනාවක් පවතිනවා. මේ නිසා පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය බරපතල ලෙස බිඳ වැටීමේ අවදානමක් තියෙනවා.
මේ වන විටත් විද්‍යාඥයන් පවසන්නේ රොකට් දියත් කිරීම් සහ චන්ද්‍රිකා නැවත ඇතුළු වීම් නිසා වායුගෝලයට සිදුවන බලපෑම තවදුරටත් නොසලකා හැරිය නොහැකි බවයි. අනාගතයේදී මේ චන්ද්‍රිකා සංඛ්‍යාව සිය ගුණයකින් වැඩි වුවහොත්, එය පෘථිවි වායුගෝලයේ ආපසු හැරවිය නොහැකි දේශගුණික විපර්යාසයන්ට මඟ පාදනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ. තාක්ෂණික දියුණුව පසුපස හඹා යන අතරතුර පරිසරයට සිදුවන මේ හානිය ගැනත් ලෝකය දැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළඹ තිබෙනවා.

Discussion & Feedback