එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් (SpaceX) සමාගම මේ වන විට අභ්යවකාශ තාක්ෂණයේ තවත් දැවැන්ත පියවරක් තබන්නට සූදානම් වෙනවා. ඔවුන් ඇමරිකාවේ ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවට අලුතින්ම ඉදිරිපත් කරපු අයදුම්පතකට අනුව, පෘථිවිය වටා කක්ෂගත වන ‘Gen3’ වර්ගයේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා ලක්ෂයක් අභ්යවකාශයට යවන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. දැනටමත් ස්ටාර්ලින්ක් චන්ද්රිකා දහස් ගණනක් අභ්යවකාශයේ ක්රියාත්මක වුණත්, මේ නවතම චන්ද්රිකා ප්රමාණය සහ ඒවායේ ප්රමාණය පෙර තිබූ චන්ද්රිකාවලට වඩා බෙහෙවින් විශාලයි. එක චන්ද්රිකාවක් කිලෝග්රෑම් 2000ත් 2500ත් අතර බරකින් යුක්ත වන නිසා, මේවා අභ්යවකාශගත කරන්න ස්පේස් එක්ස් සමාගමේ දැවැන්තම රොකට්ටුව වන ‘ස්ටාර්ෂිප්’ (Starship) රොකට්ටුව භාවිත කරන්න සිදුවේවි.
මේ ව්යාපෘතිය හරහා ලොව පුරා අන්තර්ජාල පහසුකම් තව තවත් පුළුල් කිරීම ඔවුන්ගේ අරමුණයි. ඒ වගේම මස්ක්ගේ අනාගත සැලසුම් අතර ‘ස්ටාර්මයින්ඩ්’ (Starmind) නමින් තවත් කෘත්රිම බුද්ධියෙන් ක්රියාත්මක වන චන්ද්රිකා මිලියනයක ජාලයක් ගොඩනැගීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. කෙසේ වෙතත්, අභ්යවකාශයේ මෙතරම් විශාල චන්ද්රිකා ප්රමාණයක් ගැවසීම නිසා තාරකා විද්යාඥයින් සහ විවිධ පරිසර සංවිධාන මේ ගැන යම් විවේචන එල්ල කරනවා. අභ්යවකාශයේ තදබදය වැඩිවීම සහ රාත්රී අහසේ දර්ශනයට මේවායින් බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව ඔවුන් දැඩි අවධානයෙන් ඉන්නවා. අනාගතයේදී අභ්යවකාශය මිනිසාගේ දත්ත මධ්යස්ථානයක් බවට පත් කිරීමේ මේ දැවැන්ත මෙහෙයුම කොයිතරම් සාර්ථක වේවිද කියලා අපි ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback