ඇමරිකානු රජයේ රහස් ඔත්තු සේවා මෙහෙයුමක් සඳහා ස්පේස්-එක්ස් (SpaceX) සමාගම විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. මේ සඳහා ෆැල්කන් 9 රොකට්ටුවක් ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් අඟහරුවාදා අලුයම අභ්යවකාශගත කිරීමට නියමිතයි. NROL-95 ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම ඇමරිකානු ජාතික ඔත්තු සේවා කාර්යාලය (NRO) වෙනුවෙන් සිදුකරන්නක්. මේ ගැන වැඩි විස්තර රහසිගතව තබා ගැනීමට එම ආයතනය කටයුතු කර තිබුණත්, මෙහෙයුම සඳහා යොදාගෙන ඇති ලාංඡනයේ සටහන් කර ඇති ‘We are the Champions’ යන පාඨය සහ ෆෙරෙට් (ferret) සතෙකුගේ රුවක් සහිත සුවිශේෂී නිර්මාණය මේ වන විටත් කාගේත් අවධානය දිනාගෙන තියෙනවා.
මෙම මෙහෙයුම දියත් කරන අවස්ථාව ස්පේස්-එක්ස් සමාගමේ නිල වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට ලෝකවාසීන්ට අවස්ථාව ලැබෙනවා. රොකට්ටුව අභ්යවකාශගත කිරීමෙන් මිනිත්තු අටහමාරකට පමණ පසු, එහි ප්රධාන කොටස නැවත පෘථිවියට ගොඩබෑමට නියමිතයි. මෙය මෙම රොකට් බූස්ටරය භාවිතා කරන හත්වන වතාව වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත්, ඔත්තු සේවා මෙහෙයුමක රහස්යභාවය ආරක්ෂා කිරීම සඳහා, රොකට්ටුව අභ්යවකාශගත කිරීමෙන් සුළු වේලාවකට පසු සජීවී විකාශනය නතර කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඇමරිකාවේ ඔත්තු චන්ද්රිකා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සිදුකරන මෙම මෙහෙයුම, මේ වසරේ NRO ආයතනය විසින් සිදුකරන සිව්වන මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වෙනවා.

Discussion & Feedback