ලෝකයේ ප්රමුඛතම අභ්යවකාශ සමාගමක් වන SpaceX ආයතනය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළා. ඒ ඔවුන්ගේ ‘ෆැල්කන් 9’ (Falcon 9) රොකට්ටුවක් නැවත භාවිත කරමින් 600 වැනි වතාවටත් සාර්ථකව අභ්යවකාශ මෙහෙයුමක් දියත් කිරීමත් සමඟයි. මෙම සුවිශේෂී ගමන සිදුවුණේ කැලිෆෝනියාවේ සහ ෆ්ලොරිඩාවේ පිහිටි ඔවුන්ගේ මධ්යස්ථාන දෙකකින් පැය අටකටත් අඩු කාලයකදී දියත් කළ මෙහෙයුම් දෙකක් හරහායි. මේ හරහා ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්රිකා 56ක් සාර්ථකව පෘථිවි කක්ෂයට යවන්න ඔවුන්ට හැකි වුණා.
මෙම මෙහෙයුම්වලදී භාවිත කළ රොකට් කොටස් මීට පෙරත් කිහිප වතාවක්ම අභ්යවකාශයට ගොස් පැමිණි ඒවා වීම විශේෂත්වයක්. විශේෂයෙන්ම එක රොකට් කොටසක් 28 වැනි වතාවටත්, අනෙක 15 වැනි වතාවටත් සාර්ථකව මෙහෙයුම අවසානයේ නැවත පෘථිවියට ගොඩබස්වන්න ඔවුන් සමත් වුණා. මේ වන විට SpaceX සමාගම සතු ස්ටාර්ලින්ක් චන්ද්රිකා සංඛ්යාව 10,800 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වසරේ පමණක් ඔවුන් ෆැල්කන් 9 රොකට් මෙහෙයුම් 83ක් සාර්ථකව සිදු කර ඇති අතර, අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ ඔවුන් තබන මේ වේගවත් ගමන ඇත්තටම පුදුම සහගතයි.

Discussion & Feedback