ඇමරිකානු අභ්යවකාශ හමුදාවේ රහසිගත මෙහෙයුමක් සඳහා SpaceX ආයතනය විසින් ෆැල්කන් 9 රොකට්ටුවක් කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්යවකාශ හමුදා කඳවුරේ සිට අද දින සාර්ථකව අභ්යවකාශයට යොමු කළා. USSF-153 ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම පිළිබඳ වැඩි විස්තර තවමත් රහසිගතව තබා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම රොකට්ටුව මගින් රජයේ ආරක්ෂක කටයුතු සඳහා යොදාගන්නා ‘ස්ටාර්ෂීල්ඩ්’ (Starshield) තාක්ෂණයෙන් යුත් චන්ද්රිකා කට්ටලයක් පහළ පෘථිවි කක්ෂයට රැගෙන ගිය බවටයි වාර්තා වෙන්නේ.
මෙම මෙහෙයුම සඳහා යොදාගත් ෆැල්කන් 9 රොකට්ටුවේ පළමු අදියර, දියත් කිරීමෙන් මිනිත්තු අටහමාරකට පසු සාර්ථකව පෘථිවියට පැමිණ පැසිෆික් සාගරයේ තිබූ SpaceX ඩ්රෝන් නෞකාවක් මත ගොඩබෑමට සමත් වුණා. මෙය මෙම රොකට් කොටස සිදුකළ 27 වැනි ගුවන් ගමන වීම විශේෂත්වයක්. මේ වසරේ පමණක් SpaceX සමාගම ෆැල්කන් 9 මෙහෙයුම් 104ක් සිදුකර ඇති අතර, ඉන් බහුතරයක් ස්ටාර්ලින්ක් චන්ද්රිකා ජාලය පුළුල් කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම පිළිබඳව නිල වශයෙන් වැඩි තොරතුරු අනාවරණය කර නොමැති වුවත්, එය ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකරන වැදගත් පියවරක් බවයි විද්වතුන් පවසන්නේ. අභ්යවකාශ තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙවැනි රහසිගත මෙහෙයුම් ඉදිරියේදී තවත් බහුල වනු ඇති බවටයි අභ්යවකාශ ක්ෂේත්රයේ නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ.

Discussion & Feedback