ජනප්‍රිය සංගීත වේදිකාවක් වන සවුන්ඩ් ක්ලවුඩ් (SoundCloud) ආයතනය විසින් මෑතකදී වසා දැමූ විමධ්‍යගත සංගීත වේදිකාවක් වන නීනා ප්‍රොටෝකෝල් (Nina Protocol) මිලදී ගැනීමට පියවර අරගෙන තියෙනවා. ස්වාධීන කලාකරුවන්ට තමන්ගේ නිර්මාණ කෙලින්ම රසිකයන්ට විකුණා ආදායම 100%ක්ම තමන් ළඟ තබා ගැනීමට ඉඩ සලසා දුන් මෙම වේදිකාව, පසුගිය මැයි මාසයේදී තිරසාර ව්‍යාපාරික ආකෘතියක් පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා වසා දැමීමට සිදු වුණා. මේ ගනුදෙනුව හරහා නීනා ප්‍රොටෝකෝල් සතු වූ සංගීතමය ලිපි ලේඛන සහ දත්ත සමුදායන් සවුන්ඩ් ක්ලවුඩ් සතු වෙනවා.
මෙම මිලදී ගැනීමත් සමඟ සවුන්ඩ් ක්ලවුඩ් ආයතනය බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කලාකරුවන්ට තමන්ගේ රසිකයන් සමඟ වඩාත් සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සහ නව ආදායම් මාර්ග විවෘත කර දීමටයි. නීනා ප්‍රොටෝකෝල් හරහා කටයුතු කළ කලාකරුවන්ට තම නිර්මාණ සවුන්ඩ් ක්ලවුඩ් වෙත මාරු කර ගැනීමට විශේෂ පහසුකමක් ලබා දී තිබෙන අතර, ඔවුන්ට මේ වසර අවසානය දක්වා නොමිලේ සවුන්ඩ් ක්ලවුඩ් ආටිස්ට් (SoundCloud Artist) දායකත්වයක් ද හිමි වෙනවා. මෙය සවුන්ඩ් ක්ලවුඩ් ආයතනය ස්වාධීන කලාකරුවන්ගේ වේදිකාවක් ලෙස තවදුරටත් පුළුල් කිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි බොහෝ දෙනා දකින්නේ.
සවුන්ඩ් ක්ලවුඩ් ප්‍රධාන විධායක නිලධාරී එලියා සෙටන් පවසන පරිදි, නීනා ප්‍රොටෝකෝල් විසින් කලාකරුවන් වෙනුවෙන් නිර්මාණය කළ වටිනාකම් ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි. කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව සඳහා වැය කළ මුදල හෝ නීනා කණ්ඩායමේ සාමාජිකයන් සවුන්ඩ් ක්ලවුඩ් සමඟ එක්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් අනාවරණය වී නැහැ.

Discussion & Feedback