ඉන්දියානු සිනමාවේ දැවැන්තම නිර්මාණයක් ලෙස සැලකෙන ‘රාමායණය’ චිත්‍රපටයේ ගෝලීය නිකුත් කිරීමේ දිනය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ලබන නොවැම්බර් 6 වැනිදා ලොව පුරා සිනමාහල්වලදී මෙම අපූරු නිර්මාණය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා. බොලිවුඩ් සුපිරි නළු රන්බීර් කපූර්, දකුණු ඉන්දීය තරුව යෂ් සහ දක්ෂ නිළි සායි පල්ලවී ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය කොටස් දෙකකින් යුත් දැවැන්ත සිනමා අත්දැකීමක් ලෙසයි සැලසුම් කර තිබෙන්නේ.
වසර 5,000ක් පැරණි රාමායණ වෘත්තාන්තය පාදක කරගෙන නිර්මාණය වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නිතේෂ් තිවාරි විසින්. විශේෂත්වය වන්නේ ඔස්කාර් සම්මානලාභී සංගීතඥයන් වන හෑන්ස් සිමර් සහ ඒ.ආර්. රහ්මාන් මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වීමයි. ප්‍රයිම් ෆෝකස් ස්ටූඩියෝස් හරහා නමිත් මල්හෝත්‍රා නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය සඳහා හොලිවුඩ් මට්ටමේ තාක්ෂණික ශිල්පීන් රැසක් ද සම්බන්ධ වී සිටිනවා. ඉන්දියාවෙන් පිටත ලෝකය පුරාම මෙම චිත්‍රපටය බෙදාහැරීමේ කටයුතු සිදු කරන්නේ සෝනි සමාගම විසින් වන අතර, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයකින්ම මෙය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබෙනවා.
ආදරය, යුතුකම සහ ඉරණම වටා ගෙතුණු මෙම පුරාණ වීර කාව්‍යය සිනමා තිරයට නැගෙන්නේ ඉතාමත් උසස් තාක්ෂණික මට්ටමකින්. ටෙරී නොටරි සහ ගයි නොරිස් වැනි ප්රවීණයන්ගේ සටන් අධ්‍යක්ෂණයෙන් සහ රම්සේ ඒවරි සහ රවී බන්සාල්ගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වෙන මෙම චිත්‍රපටය සිනමා ලෝලීන් අතර දැනටමත් විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. ඉතින්, නොවැම්බර් මාසයේදී ලෝක සිනමාවේ අලුත් පෙරළියක් දකින්න අපි හැමෝම බලාගෙන ඉමු.

Discussion & Feedback