හොලිවුඩයේ සිනමා ලෝලීන්ගේ හදවත බඳු සිනෙරාමා ඩෝම් (Cinerama Dome) සහ ආර්ක්ලයිට් (Arclight) සිනමා සංකීර්ණය නැවතත් විවෘත කිරීමට සෝනි පික්චර්ස් සමාගම උනන්දුවක් දක්වන බවට මේ වන විට ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. කොවිඩ් වසංගතයත් එක්ක 2020 වසරේදී වසා දැමුණු මේ ඓතිහාසික සිනමා ශාලාව නැවත පණ ගන්වන්න සෝනි සමාගම රොබට්සන් ප්රොපර්ටි ගෲප් සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ. විශේෂයෙන්ම සෝනි සමාගමට අයත් ‘ඇලමෝ ඩ්රාෆ්ට්හවුස්’ (Alamo Drafthouse) සිනමා ජාලය හරහා මේ ස්ථානය නැවත මෙහෙයවීමට ඔවුන් සැලසුම් කරන බවත් වාර්තා වෙනවා.
1963 වසරේදී ඉදිකළ මේ සිනෙරාමා ඩෝම් එක ලෝකයේ තියෙන එකම කොන්ක්රීට් ජියෝඩෙසික් ගෝලාකාර සිනමා ශාලාවයි. කාලයක් තිස්සේ මේ ස්ථානය නැවත විවෘත කිරීමට විවිධ පාර්ශව උත්සාහ කළත්, මූල්ය ගැටලු සහ බංකොලොත්භාවය නිසා ඒ සියල්ල අසාර්ථක වුණා. කොහොම වුණත්, සෝනි සමාගම මේ ව්යාපෘතියට අත ගැසීම සිනමා ලෝලීන්ට නම් ලොකු බලාපොරොත්තුවක්. දැනට මේ ගැන නිල වශයෙන් කිසිවක් ප්රකාශ කර නැතත්, හොලිවුඩයේ මේ සුවිශේෂී සිනමා ශාලාව නැවතත් සිනමා රසිකයන්ට විවෘත වනු දැකීම බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් වෙලා තියෙනවා. ඉදිරි දිනවලදී මේ ගැන වැඩිදුර තොරතුරු බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback