ඉන්දියාවේ ජනප්රිය ස්ට්රීමින් සේවාවක් වන Sony LIV ආයතනය මේ දිනවල ඇනිමේෂන් නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. ඒ අනුව, මහාභාරතයේ එන අතිශය ජනප්රිය චරිතයක් වන කර්ණගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය කළ ‘The Legend of Karna’ ඇනිමේෂන් කතා මාලාව එළඹෙන ජූලි 31 වැනිදා සිට ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. මෙම කතා මාලාව නිර්මාණය කර තිබෙන්නේ Graphic India ආයතනය විසින් වන අතර, එහි නිෂ්පාදකවරුන් ලෙස ශරත් දේවරාජන් සහ ජීවන් ජේ. කාන්ග් කටයුතු කරනවා.
මෙම කතාව ගලා යන්නේ කුන්ති දේවියට සහ සූර්ය දෙවියන්ට දාව උපත ලබා, රියැදුරෙකුගේ නිවසක හැදී වැඩුණු කර්ණ නම් අසාමාන්ය දක්ෂතා සහිත දුනුවායා වටායි. උපතින් ලැබුණු කුලය නිසා සමාජයෙන් කොන් වුවත්, තමන්ගේ දක්ෂතාවයෙන්ම හස්තිනාපුර රාජ සභාවේ ඉහළම තැනකට පැමිණෙන කර්ණගේ අභියෝගාත්මක ගමන මෙහිදී ඉතා අපූරුවට නිරූපණය වෙනවා. ශ්රේෂ්ඨත්වය තීරණය වන්නේ උපතින්ද නැතිනම් තමන් කරන ක්රියාවන්ගෙන්ද යන ගැඹුරු ප්රශ්නයට පිළිතුරු සොයන මෙම කතා මාලාව, කර්ණගේ ජීවිතයේ සැඟවුණු පැතිකඩ සහ ඔහු මුහුණ දෙන දේශපාලනික ගැටුම් මනාව විදහා දක්වනවා.
මීට පෙර ‘The Legend of Hanuman’ වැනි සාර්ථක නිර්මාණ රැසකට දායක වූ ශරත් දේවරාජන් පවසන්නේ, මහාභාරතයේ ඛේදජනකම චරිතය වන කර්ණගේ කතාව මෙතෙක් ලෝකයට නිසි ලෙස ඉදිරිපත් වී නොමැති බවයි. ඒ නිසාම මෙම නිර්මාණය තුළින් කර්ණගේ පක්ෂපාතීත්වය සහ ඔහුගේ අසමසම දක්ෂතාවය ලෝකයට පෙන්වා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. Sony LIV හරහා විකාශය වන මෙම අලුත්ම ඇනිමේෂන් කතා මාලාව ඉන්දියානු මෙන්ම ලෝකයේ සිටින මහාභාරත රසිකයන්ට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback