සෝමාලියානු වෙරළ තීරයේදී මුහුදු කොල්ලකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් බේරා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළත්, ඒ වන විටත් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු කොල්ලකරුවන් විසින් ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. පුන්ට්ලන්ඩ් ප්‍රාදේශීය රජයේ නියෝජ්‍ය තොරතුරු අමාත්‍ය බයිල් කබොව්සේඩ් බීබීසී මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ආරක්ෂක අංශ නෞකාවට ගොඩවීමට පෙර මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති බවයි. මියගිය පිරිස අතර පාකිස්තානු ජාතිකයින් තිදෙනෙකු, ඉන්දීය ජාතිකයෙකු සහ මියන්මාර ජාතිකයෙකු සිටින අතර, තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම නෞකාව පසුගිය අප්‍රේල් මාසයේදී සන්නද්ධ පුද්ගලයින් හය දෙනෙකු විසින් පැහැරගෙන තිබුණේ මොගඩිෂු නුවර බලා තෙල් බැරල් 18,500ක් රැගෙන යමින් සිටියදීයි. මෙහෙයුම අතරතුර සැකකාර කොල්ලකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුවත්, තවත් පිරිසක් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. පැහැරගත් අවස්ථාවේ නෞකාවේ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු විවිධ ජාතීන්ට අයත් 17 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
මීට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර නාවික හමුදාවන්ගේ මැදිහත්වීමෙන් සෝමාලියානු මුහුදු කොල්ලකෑම් විශාල වශයෙන් පාලනය වී තිබුණත්, මෑත කාලයේදී නැවතත් මෙවැනි ප්‍රහාර සහ නෞකා පැහැරගැනීම් ඉහළ ගොස් තිබෙනවා. කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හමුවේ වෙළඳ නෞකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට බරපතල ගැටලු මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Discussion & Feedback