ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර්බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධ බවට පැතිර යන කතාබහ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. එයාර්බස් සමාගම සහ නාමල් රාජපක්ෂ අතර කිසිදු විද්‍යුත් තැපැල් හුවමාරුවක් සිදුවී නැති බවත්, අදාළ කිසිදු ලිපියක ඔහුගේ නම සඳහන්ව නැති බවත් ඔහු අවධාරණය කරනවා. මේවා හුදෙක් ගනුදෙනුවට සම්බන්ධ නිලධාරීන් අතර සිදුවූ කතාබහක් පමණක් බවත්, එයින් නාමල් රාජපක්ෂගේ කිසිදු සම්බන්ධයක් ඔප්පු නොවන බවත් නීතිඥවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම, මෙම ගනුදෙනුව හරහා නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට හෝ ෂමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමකට මුදල් බැර වූ බවට එල්ල වන සියලුම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරනවා. ව්‍යාපාරික නිමල් පෙරේරාගේ ප්‍රකාශයක් මත පමණක් පදනම්ව නාමල් රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට උත්සාහ කිරීම නීති විරෝධී බවත්, කිසිදු ස්වාධීන සාක්ෂියක් නොමැතිව මෙවැනි චෝදනා එල්ල කිරීම අසාධාරණ බවත් ඔහු පවසනවා. රජයේ ඇතැම් පාර්ශ්වයන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මහජන දේපළ පනත අවභාවිත කරමින් නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවටත් ඔහු චෝදනා කරනවා. කෙසේ වෙතත්, මෙවැනි දේශපාලන පළිගැනීම්වලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ගමන කිසිසේත්ම නතර කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback