පසුගිය වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පාලනාධිකාරිය විසින් නීතිමය කටයුතු සහ ඒ ආශ්රිත වියදම් සඳහා රුපියල් මිලියන 681කට අධික දැවැන්ත මුදලක් වැය කර ඇති බව වාර්තා වෙනවා. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත විසින් අනාවරණය කර ඇති පරිදි, 2023 සිට 2025 දක්වා කාලය තුළ මෙම මුදල් වැය කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ නඩු, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව පවරා තිබූ අපහාස නඩු, වාණිජ ආරවුල් සහ බදු සම්බන්ධ ගැටලු විසඳා ගැනීම සඳහායි.
ලැබී ඇති දත්තවලට අනුව, 2023 වසරේදී පමණක් රුපියල් මිලියන 264.6ක් වැය කර ඇති අතර, 2024 වසරේදී රුපියල් මිලියන 250.5ක් සහ 2025 වසරේදී රුපියල් මිලියන 166ක් ලෙස මෙම වියදම් වාර්තා වෙනවා. ක්‍රිකට් ආයතනයේ නිල ගෙවීම් වවුචර් පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විට පත් කර ඇති අතුරු පාලක මණ්ඩලය විසින් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව පවරා තිබූ එම අපහාස නඩු සියල්ලම ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
ක්‍රිකට් ආයතනයේ මුදල් මෙතරම් විශාල ප්‍රමාණයක් නීතිමය වියදම් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශාල කතාබහක් ඇතිවෙලා තියෙනවා. ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් වැය කළ යුතු මුදල් මෙවැනි නීතිමය කටයුතු සඳහා මෙතරම් විශාල වශයෙන් වැය කිරීම කොතරම් දුරට සාධාරණද යන්න පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Discussion & Feedback