ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘සික්ස් ෆ්ලෑග්ස් මැජික් මවුන්ටන්’ විනෝද උද්‍යානයේ තිබුණු ඉතාමත් ජනප්‍රිය ‘X2’ රෝලර් කෝස්ටරය සදහටම වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා. මේ රෝලර් කෝස්ටරයේ ගමන් කළ සිය ගණනක් මගීන් තමන්ට බරපතළ මොළයේ ආබාධ ඇති වූ බවට චෝදනා කිරීමත් සමඟ තමයි මෙවැනි තීරණයක් ගන්න සිද්ධ වුණේ. පසුගිය ජූලි මාසයේ සිටම මෙම රයිඩ් එක වසා දමා තිබූ අතර, ආරක්ෂක පරීක්ෂණ සියල්ල සමත් වුවත්, අමුත්තන්ගේ ආරක්ෂාව සහ විශ්වාසය වෙනුවෙන් එය ස්ථිරවම ඉවත් කිරීමට තීරණය කළ බව උද්‍යාන සභාපති බ්‍රයන් ඕඩින් පවසනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති නීතිඥවරුන් පවසන්නේ මෙම තීරණය ගනු ලැබුවේ බොහෝ ප්‍රමාද වී බවයි. මෙම රයිඩ් එකේ ගමන් කළ බොහෝ දෙනෙකුට හදිසි මොළයේ සැත්කම් පවා සිදු කිරීමට සිදුවී ඇති අතර, තවත් පිරිසක් තවමත් ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට සටන් කරනවා. විශේෂයෙන්ම 2022 වසරේදී මෙම රයිඩ් එකේ ගමන් කිරීමෙන් පසු මියගිය 22 හැවිරිදි ක්‍රිස්ටෝපර් හෝව්ලිගේ පවුලේ අය පවසන්නේ, රෝලර් කෝස්ටරය වසා දැමීමෙන් පමණක් සිදු වූ හානිය නිවැරදි කළ නොහැකි බවයි. වසර ගණනාවක් තිස්සේ මෙවැනි අනතුරුදායක රයිඩ් එකක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් දැඩි විවේචන එල්ල කරනවා. 2002 වසරේදී ආරම්භ කළ මෙම රයිඩ් එකේ මිලියන 16කට අධික පිරිසක් ගමන් කර තිබුණත්, අවසානයේදී එය මෙවැනි ඛේදජනක අවසානයකට පත්වීම කනගාටුදායක කරුණක්.

Discussion & Feedback