ඉන්දුනීසියාවේ සුරබායා සිට බන්ජර්මාසින් බලා ගමන් කරමින් තිබූ ‘වර්ගෝ ට්රාන්ස්පෝර්ට් 8’ නමැති මගී නෞකාව ජාවා මුහුදේදී දැඩි අයහපත් කාලගුණයකට මුහුණ දීමෙන් අනතුරට ලක්ව තිබෙනවා. මගීන් 213 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු ඇතුළු මුළු 243 දෙනෙකු ගමන් ගත් මෙම නෞකාව අතුරුදහන් වූ බවට වාර්තා වීමත් සමඟම දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණා. මේ වන විට ලැබෙන තොරතුරු අනුව පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති අතර, 107 දෙනෙකු බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබෙනවා. තවමත් 130 දෙනෙකු පමණ අතුරුදහන්ව සිටින බැවින් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.
අනතුරට පත් නෞකාවේ සිටි තම පවුලේ සාමාජිකයන් ගැන තොරතුරු බලාපොරොත්තුවෙන් බන්ජර්මාසින් වරායේ පවුලේ ඥාතීන් විශාල පිරිසක් දැඩි කම්පනයෙන් රැඳී සිටින අයුරු දැකගන්න ලැබෙනවා. අතුරුදහන් වූවන්ගේ ඥාතියෙකු පවසන්නේ තම පවුලේ අය නෞකාවේ සිටියදී මුහුදේ රළු ස්වභාවය ගැන වට්ස්ඇප් පණිවිඩයක් එවා තිබූ බවයි. මේ අතර, බේරාගත් අය අතර සිටින තම සැමියා ගැන දැනගත් කාන්තාවක් කඳුළු සලමින් සතුට පළ කළා. ඉන්දුනීසියාවේ දූපත් අතර ගමනාගමනය සඳහා නෞකා බහුලව භාවිත කළත්, මෙවැනි අනතුරු නිතර සිදුවීම විශාල ගැටලුවක් වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ප්රවාහන ආරක්ෂක කමිටුව විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බලධාරීන් පවසනවා.

Discussion & Feedback