අන්තර්ජාලය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වන සමාජ මාධ්‍ය වේදිකා වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා තහනම් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා. එරට ඩිජිටල් සංවර්ධන සහ තොරතුරු අමාත්‍ය ජෝසපින් ටියෝ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ළමා ආරක්ෂාව පිළිබඳ පැවති විශේෂ සමුළුවකදීයි. ඇය පවසන පරිදි, දරුවන්ට ආරක්ෂිත පරිසරයක් ලබා දෙන සමාජ මාධ්‍ය වේදිකා පමණක් අඛණ්ඩව භාවිත කිරීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, එම ප්රමිතීන් සපුරාලීමට අකමැති හෝ නොහැකි වේදිකා දරුවන්ගෙන් ඈත් කර තැබීමට රජය පියවර ගන්නවා.
මෙම තීරණය හුදෙක් සමාජ මාධ්‍ය තහනම් කිරීමක් නොව, තාක්ෂණික සමාගම් වගකීමෙන් කටයුතු කිරීමට පෙළඹවීමක් බවයි අමාත්‍යවරිය අවධාරණය කරන්නේ. විශේෂයෙන්ම ඇල්ගොරිතම නිර්මාණය, දරුවන් ඇබ්බැහි කරවන අයුරින් යෙදුම් සැකසීම සහ නාඳුනන පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමේ අවස්ථා වැනි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. දරුවන් අන්තර්ජාලයට සම්පූර්ණයෙන්ම තහනම් කිරීම යථාර්ථවාදී නොවන බැවින්, ඔවුන්ට ආරක්ෂිතව ඩිජිටල් අවකාශය තුළ හැසිරෙන ආකාරය උගන්වන අතරම, දෙමාපියන්, ගුරුවරුන් සහ රජය එක්ව දරුවන්ගේ ඩිජිටල් පුරුදු නිරෝගීව පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ වන විටත් සිංගප්පූරුව තුළ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් නීති රීති ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී වයස් කාණ්ඩ අනුව අන්තර්ජාල ප්‍රවේශය ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන් හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා. තරුණ පරපුර ද මේ වන විට තමන්ගේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවත්, ආරක්ෂිත නොවන වේදිකා අත්හැර දැමීමට ඔවුන් පෙළඹී සිටින බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

Discussion & Feedback