සිංගප්පූරුවේ ඉගෙනුම ලබන ප්‍රංශ ජාතික 19 හැවිරිදි තරුණයෙක් එරට වෙළඳසැලක තිබූ දොඩම් යුෂ යන්ත්‍රයක ස්ට්‍රෝ එකක් ලෙවකන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම නිසා මේ වන විට ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘නගරය ආරක්ෂිත නැහැ’ යනුවෙන් සඳහන් කරමින් ඔහු විසින්ම ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධ කළ මෙම වීඩියෝව නිසා බොහෝ දෙනෙක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණා. මේ සිදුවීමෙන් පස්සේ අදාළ යන්ත්‍රය හිමි සමාගම විසින් එහි තිබූ ස්ට්‍රෝ 500ක්ම ඉවත් කර අලුතින් දාන්න කටයුතු කරලා තියෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණය හමුවේ පෙනී සිටි එම තරුණයා තමන් කළ වරද පිළිගෙන තිබෙනවා. මහජන පීඩාවක් ඇති කිරීමේ චෝදනාව යටතේ ඔහුට සිංගප්පූරු ඩොලර් 600ක දඩ මුදලක් ගෙවීමට නියම වුණා. සිංගප්පූරුවේ නීතියට අනුව මෙවැනි වරදකට උපරිම වශයෙන් මාස තුනක සිර දඬුවමක් හෝ ඩොලර් 2,000ක දඩයක් නියම වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, තමන් කළ දේ ගැන ඔහු මේ වන විට දැඩි කනගාටුව පළ කරලා තියෙනවා.
තමන් විනෝදයට කළ දෙයක් මෙතරම් බරපතළ ප්‍රශ්නයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලයි ඔහුගේ නීතිඥවරයා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ. සිංගප්පූරුවේ සාප්පු සංකීර්ණ සහ දුම්රිය ස්ථානවල බහුලව දකින්න ලැබෙන මේ දොඩම් යුෂ යන්ත්‍රවලින් ජනතාවට නැවුම් යුෂ ලබාගන්න පුළුවන්. නමුත් මෙවැනි වගකීම් විරහිත ක්‍රියාවන් නිසා මහජනතාවගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන නිසා නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback