සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ශ්‍රම බලකා අමාත්‍ය ටෑන් සී ලෙන්ග් යන මහත්වරුන් අපකීර්තියට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් (Bloomberg) ප්රවෘත්ති ආයතනයට සහ එහි මාධ්‍යවේදියෙකුට විශාල වන්දියක් ගෙවීමට සිංගප්පූරු අධිකරණයක් නියෝග කරලා තියෙනවා. ඒ අනුව එක් ඇමතිවරයෙකුට සිංගප්පූරු ඩොලර් 230,000 බැගින් වන්දි ගෙවන්නයි අධිකරණය නියෝග කළේ. 2024 වසරේ පළවුණු ලිපියකින් මෙම ඇමතිවරුන්ගේ දේපළ ගනුදෙනු සම්බන්ධයෙන් අසත්‍ය සහ අපකීර්තිමත් කරුණු ඉදිරිපත් කර ඇති බවයි විනිසුරු ඕඩ්රි ලිම් මහත්මිය තීන්දු කළේ.
මෙම ලිපිය මගින් ඇමතිවරුන්ගේ දේපළ ගනුදෙනු මුදල් විශුද්ධිකරණය සහ රහසිගත ගනුදෙනු වැනි දේවල් සමඟ සම්බන්ධ කරමින් වැරදි ප්‍රතිරූපයක් මවා ඇති බව අධිකරණය පෙන්වා දෙනවා. බ්ලූම්බර්ග් ආයතනය තර්ක කළේ මෙය සාමාන්‍ය වෙළඳපල ප්‍රවණතාවක් ගැන ලියූ ලිපියක් බවයි. නමුත් විනිසුරුවරිය එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, එම ලිපිය සකස් කර තිබෙන්නේ ඇමතිවරුන්ව ඉලක්ක කරගෙන බවත්, එය වගකිවයුතු මාධ්‍යකරණයක් නොවන බවත්ය. සාමාන්‍ය පාඨකයෙකුට මෙම ලිපිය කියවන විට ඇමතිවරුන් යම් නීති විරෝධී හෝ සැක සහිත ක්‍රියාවක නිරත වූ බවක් හැඟී යන බව අධිකරණය තවදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback