ප්‍රසිද්ධ මාර්කටින් තාක්ෂණික සමාගමක් වන Klaviyo හි ලියාපදිංචි වීමේදී භාවිතා කරන වෙබ් පිටුවේ තිබූ දෝෂයක් හේතුවෙන්, පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සහ මුරපද පිටස්තර වෙළඳ දැන්වීම් සමාගම් වෙත කාන්දු වී ඇති බව අනාවරණය වෙලා තියෙනවා. ආරක්ෂක පර්යේෂකයෙකු වන සැම් ජඩාලි පවසන විදිහට, 2024 පෙබරවාරි මාසයේ සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ මෙම දෝෂය පැවති බවයි වාර්තා වෙන්නේ. මේ නිසා Klaviyo වෙත අලුතින් ලියාපදිංචි වුණු බොහෝ දෙනෙකුගේ ඊමේල් ලිපින, මුරපද, සමාගමේ නම සහ දුරකථන අංක වැනි සංවේදී දත්ත Google, Facebook, Microsoft සහ LinkedIn වැනි දැවැන්ත සමාගම්වලට නිකරුණේ ලැබී තිබෙනවා.
මෙම දත්ත කාන්දුව සිදුවී ඇත්තේ වෙබ් අඩවිවල අන්තර්ගත වන ‘pixels’ නමැති ට්‍රැකර්ස් (trackers) වැරදි ලෙස සැකසීම නිසයි. සාමාන්‍යයෙන් වෙබ් අඩවියක ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීමට යොදාගන්නා මෙම තාක්ෂණය, මෙහිදී පරිශීලකයන් ඇතුළත් කරන රහස්‍ය තොරතුරු පවා පිටස්තර පාර්ශවයන්ට යැවෙන පරිදි වැරදි ලෙස සැකසී තිබුණා. Klaviyo සමාගම පසුව මෙම දෝෂය නිවැරදි කළත්, මෙයින් හරියටම කොපමණ පිරිසක් පීඩාවට පත්වුණාද යන්න ගැන තවමත් පැහැදිලි නැහැ. ඔවුන් පවසන්නේ දත්ත කාන්දු වූයේ පුද්ගලයන් 200කට අඩු පිරිසකගේ පමණක් බවයි. කෙසේ වෙතත්, මෙවැනි සිදුවීම්වලින් පෙනී යන්නේ අන්තර්ජාලය භාවිතා කරන විට අපේ පෞද්ගලික දත්ත කොතරම් අවදානමකට ලක්විය හැකිද යන්නයි. ඒ නිසා ඔබත් අන්තර්ජාලයේදී දත්ත ඇතුළත් කරන විට ඉතාමත් සැලකිලිමත් වීම වැදගත්.

Discussion & Feedback