අභ්යවකාශයේ වෙනත් ග්රහලෝකවල ජීවය සොයා ගැනීමට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදා ගැනීම ගැන විද්යාඥයන් අතර මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මිචිගන් ප්රාන්ත විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ නවතම පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙන්නේ, AI තාක්ෂණයට ජීවය නොවන දේවල් ජීවය ලෙස වරදවා වටහා ගැනීමේ විශාල අවදානමක් තියෙන බවයි. ඔවුන් පරිගණක වැඩසටහන් භාවිත කරමින් සිදු කළ පරීක්ෂණවලදී පෙනී ගියේ, තමන් පුහුණු කර ඇති දත්තවලට වඩා වෙනස් දත්ත හමු වූ විට AI පද්ධති ඉතා පහසුවෙන් නොමඟ යන බවයි. මෙය විද්යාත්මකව ‘out-of-distribution’ ලෙස හඳුන්වන අතර, පිටසක්වල ජීවීන් පෘථිවියේ ජීවීන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි නිසා මෙය ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්.
පර්යේෂක ක්රිස්ටෝෆ් ඇඩමි පවසන පරිදි, AI පද්ධතියකට යම් දත්තයක් හුරු කරවූ පසු එය ඉතා දක්ෂ ලෙස ක්රියා කළත්, ඊට හුරු නැති අලුත් දෙයක් හමු වූ විට එය අනුමාන කිරීමට ගොස් වැරදි තීරණ ගන්නවා. උදාහරණයක් විදිහට, ඇපල් ගෙඩි හඳුනා ගැනීමට පුහුණු කළ AI එකකට කෙසෙල් ගෙඩියක් දුන් විට එය ව්යාකූල වනවා සේම, පිටසක්වල ක්ෂුද්ර ජීවීන් දෙස බැලීමේදීත් මෙවැනිම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අභ්යවකාශ මෙහෙයුම්වලදී AI මත පමණක්ම විශ්වාසය තැබීම අවදානම් සහගත බවයි විද්යාඥයන් අනතුරු අඟවන්නේ. කෙසේ වෙතත්, දත්ත විශාල ප්රමාණයක් විශ්ලේෂණය කිරීමට AI සතු හැකියාව නිසා එය තවමත් වැදගත් මෙවලමක් වුණත්, එහි තීරණවල නිරවද්යතාව ගැන තවදුරටත් ගැඹුරින් සොයා බැලිය යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

Discussion & Feedback