කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාලයට ඉලක්ක කරගෙන මේ වසරේ දෙවැනි වතාවටත් වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. පසුගිය සඳුදා අලුයම 4.45ට පමණ මේ සිදුවීම සිදුවී ඇති අතර, කොන්සල් කාර්යාලය අසල රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකුට වෙඩි හඬක් ඇසී තිබෙනවා. ඒ මොහොතේම බලපත්‍ර තහඩුවක් නොමැති සුදු පැහැති මෝටර් රථයක් එම ස්ථානයෙන් වේගයෙන් පලා යන අයුරුත් ඔහු දැක තිබෙනවා. පොලිසිය වහාම එම රථය පසුපස හඹා ගියත්, මහජන ආරක්ෂාව ගැන හිතලා පසුව එම ලුහුබැඳීම නතර කර තිබෙනවා. වාසනාවකට මේ සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ටොරොන්ටෝ පොලිසිය, රාජකීය කැනේඩියානු පොලිසිය සහ ජාත්‍යන්තර ආයතන එක්ව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. පසුගිය මාර්තු මාසයේදීත් මෙවැනිම ආකාරයේ වෙඩි තැබීමක් සිදුවූ අතර, එය කුලී වෙඩික්කරුවන්ගේ ජාලයකට සම්බන්ධ බවට හෙළි වුණා. මේ වෙඩි තැබීමත් ඒ හා සමාන පසුබිමක් සහිත එකක්ද යන්න ගැන පොලිසිය සැක පහළ කරනවා. කොන්සල් කාර්යාලයේ ගොඩනැගිල්ලට යම් හානියක් සිදුවී තිබුණත්, එහි ආරක්ෂාව ඉතා දැඩි නිසා ඇතුළත සිටි අයට වෙඩි හඬ පවා ඇසී නැති බවයි වාර්තා වෙන්නේ. මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැඩි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා.

Discussion & Feedback